English (UK)SinhalaSriLankaTamilIndia


වී අලෙවි මණ්ඩලයේ ගබඩා කොට ඇති වී මෙට්‍රික් ටොන් 30,000 ක් විකිණීමේ ක්‍රියාවලියේ දී වංචනික ලෙස හැසිරුණු ප්‍රාදේශීය කළමනාකරු කිළිනොච්චිය ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගැනේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට වී මිලදී ගන්නා ව්‍යාපාරික මහතෙකු පැමිණිලි කර තිබුනේ රත්නායක නැමති ප්‍රාදේශීය කළමනාකරුවෙකු වී කිලෝ ලක්ෂ 12 ක් මිලදී ගැනීමේ දී එක් කිලෝවකින් රු. 03 බැගින් කොමිස් මුදල් ලබාගත් බවයි.

 

ඉතිරි වී ප්‍රමාණය මිලදී ගැනීමට ද තමන්ගෙන් කොමිස් ඉල්ලා සිටින බව එම ව්‍යාපාරික මහතා අමාත්‍යවරයාට දන්වා තිබුණා. ඒ අනුව මේ පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගය 24 වනදා පැමිණිලි කරනු ලැබුවා.

 

පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද දින කිළිනොච්චියේ දී අල්ලස් මුදල්ද සමඟින් අදාල ප්‍රාදේශීය කළමනාකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. පසුගිය රජය සමයේ දී බිලියන ගණනක් රජයට අහිමි කරමින් සත්ත්ව ආහාර වලට බව පවසමින් වී අලෙවි මණ්ඩලයේ මහා පරිමාණ වංචාවන් සිදු වුණා. ඊට සම්බන්ධ වූ නිලධාරීන් දැනටත් වංචාවන් වල නිරත වන අතර, මෙම නිලධාරියා ද එවැනිම පුද්ගලයෙක්.  මහ කන්නයේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 03 ක් වී අලෙවි මණ්ඩලය හරහා මිලට ගෙන හාල් මාෆියාවට එරෙහිව රජය වී සංචිතයක් පවත්වා ගැනීමට කටයුතු කර තිබෙනවා. ඒ සඳහා ගබඩා හිස් කිරීමේ කටයුතු සඳහායි වී මෙට්‍රික් ටොන් 30,000 අලෙවි කිරීමට උපදෙස් ලබාදී තිබුනේ. ඊට මුවා වෙමින් නාඩු කිලෝවකින් රු. 03 ක් සහ සම්බා කිලෝවකින් රු. 10 ක් ලෙස කොමිස් මුදල් ඉල්ලමින් මෙම සැකකරු වී අලෙවි කිරීමේ කටයුතු වල නිරත වූ බවට අදාල ව්‍යාපාරිකයා කෘෂිකර්ම අමාත්‍යවරයාට පැමිණිලි කර තිබෙනවා.

සේනා දළඹු උවදුර මඩින්න රජය සියලු සේනා යොදවා අවසන්.

කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ

 

v කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරින් ගොවි බිමිවලට ගොස් පරීක්ෂා කළා.

v එන්ජිවි වෛයිරසය ක්ෂේත්‍ර නිලධාරින් මඟින් ලබා දෙමින් තිබෙනවා.

v සේනා දළඹු 5%ක ව්‍යාප්තියක් අම්පාර, කුරුණෑගල,මොනරාගල, අනුරාධපුර දිස්ත්‍රික්කවල

v හානි වූ වගා බිම්වලට තක්සේරු කොට අනිවාර්යයෙන් වන්දි ගෙවනවා.

 

 

මේ වනවිට ආරම්භ වී ඇති මහ කන්නයේ බඩඉරිඟු වගාවට යළි සේනා දළඹු උවදුර තුළින් දිවයින පුරා වාර්තා වන හානිය වැළැක්වීමට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේදී මේ පිළිබඳව සිදු වූ සාකච්ඡාවකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්.එම්.ඩබ්. වීරකෝන් මහතා ඇතුළු අදාළ නිලධාරින් පසුගිය සතියේ සිට ගොවිබිම් වෙතම ගොස් මේ පිළිබඳව කරුණු සොයා බැලීමට කටයුතු කළ බවයි. අම්පාර, මොනරාගල,අනුරාධපුර,කුරුණෑගල යන දිස්ත්‍රික්කවල මෙම බලපෑම් වැඩි වශයෙන් වාර්තාවන අතර, එය පාලනයට යොදා ගන්නා එන්ජිවි වෛයිරසය ක්ෂේත්‍ර නිලධාරින් මඟින් ගොවි ජනතාව වෙත ලබා දීමට මේ වනවිටත් පියවර ගෙන තිබෙනවා. එසේම සේනා දළඹු උවදුරෙන් හානිවූ වගා බිම්වල තක්සේරු කටයුතු ද අදාළ ප්‍රදේශවල ක්ෂේත්‍ර නිලධාරින්ට කඩිනමින්, ප්‍රායෝගිකව, සාධාරණව සිදු කරන ලෙස උපදෙස් දී ඇති බවද අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළා. සියලුම පළාත් සභාවලට රුපියල් ලක්ෂ 60ක මුදලක් සේනා දළඹු උවදුර පාලනය සඳහා ලබා දී ඇති බව ප්‍රකාහ කළ අමාත්‍යවරයා දැනටමත් මෙම උවදුරෙන් ගොවියා රැක ගැනීමට ගතයුතු සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි සඳහන් කළේ. නිවැරදි තක්සේරුවකින් අනතුරුව වගා හානි සඳහා සියලුම වන්දි නියත වශයෙන්ම ගොවි ජනතාවට ලබා දෙන බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා අවධාරණය කළා.

 

කන්නය අවසානයේ තක්සේරුවෙන් පසු මාසයක් තුළ සියලු ගොවීන්ට එම වන්දි මුදල් හිමිවන නව ක්‍රමවේදයක් කාෂි රක්ෂණ මණ්ඩලය හරහා දැනටමත් හඳුන්වා දී ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. එසේම නතර කර තිබූ ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය නැවත පණගන්වා ගොවියාට සාධාරණය ඉටු කිරීමට රජය මේ වනවිටත් පියවර ගෙන අවසන් බවද අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරනවා. වන්දි ගෙවීම, තක්සේරු කිරීමේ ගැටළු වගා හානිය තුළ වූ ගොවි ගැටළු, කෘෂිකර්ම අමාත්‍යාංශයට, කෘෂි රක්ෂණ මණ්ඩලයට මෙන්ම තමා වෙතද දැනුම් දීමට පියවර ගන්නා ලෙසද අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මාස තුනක්. හතරක් ඇතැම්විට ඊටත් වඩා ගොවි වන්දි ගෙවීමට පසුගිය වකවානුවේ ප්‍රමාදයන් සිදුව ඇති බවත් 2021 සිට මසක් තුල සියලු වන්දි මුදල් ගොවියාගේ අතට ලැබෙන නව ක්‍රමවේදයක් කෘෂි රක්ෂන මණ්ඩලය හා අදාළ ක්ෂේත්‍ර නිලධාරින් මඟින් ක්‍රියාත්මක බවත් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් අවධාරණය කළා.

 

ඇවන්ගාඩ් සමාගමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉඩම් අක්කර 5000ක් ලබාදුන් බවට සිදු වන ප්‍රචාර මුළුමනින්ම අසත්‍යයයි. අමාත්‍යාංශ ලේකම් පවසයි

ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ බඩඉරිඟු වගාවක් සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් ඉඩම් අක්කර 5000ක් ලබාදී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා මුළුමනින්ම අසත්‍ය බව අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා මහතා පවසනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය සතුව පවතින්නේ ගොවිබිම්, බීජ ගොවිපොළවල්, පර්යේෂණ මධ්‍යස්ථාන පමණක් බවයි, සුමේධ පෙරේරා මහතා ප්‍රකාශ කරන්නේ. එසේම කෘෂිකාර්මික උපදේශන සේවය හා තාක්ෂණික සහාය ලබාදීම කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් කාර්යභාරය වන බවත්, පවසන ලේකම් සුමේධ පෙරේරා මහතා අදාළ ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගම මඟින් පවත්වාගෙන යන බඩඉරිඟු ගොවිපලක් සඳහා උපදේශන හා තාක්ෂණ සහාය ලබා දීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව පවසනවා, එම සහාය ඕනෑම කෘෂි ගොවිපොළක් සඳහා ලබා දීම අමාත්‍යාංශයේ වගකීම බවයි, ඒ මහතා පෙන්වා දෙන්නේ. එම නිසා ඉඩම් අක්කර 5000ක් ලබාදී ඇති බවට පළවන සියලු වාර්තා සත්‍යයෙන් තොර බව ද අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා මහතා අවධාරණය කරනවා.

බිලියන 1.2කට ආසන්න මුදලක් රජයට පාඩු කළ පොහොර විෂමාචාර සම්බන්ධයෙන් 05කගේ වැඩ තහනම්.

2018/2019 වර්ෂවලට අදාළව පොහොර බෙදා හැරිමේ විෂමාචාරවලට සම්බන්ධ නිලධාරින් 05 දෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. සාවද්‍ය ලේඛන සකස්කොට රසායනාගාර පරීක්ෂණ වාර්තා වෙනස්කිරීම ඇතුළු චෝදනා කිහිපයක් පදනම් කරගනිමින් මෙම තීරණය ගනු ලැබුවා. ඒ අනුව පොහොර ලේකම් කාර්යාලයේ එවකට සේවය කළ සහකාර අධ්‍යක්ෂවරු 03 දෙනෙකු සහ සංවර්ධන නිලධාරීන් 02කුගේ සේවය අත්හිටුවා තිබෙනවා. මෙම වංචාවට සම්බන්ධ විමර්ශන කටයුතු මන්දගාමීව පැවතීම පිළිබඳව දිගින් දිගටම කෘෂිකර්ම අමාත්‍යවරයා සොයා බැලුවා. නොබෝදා පාර්ලිමේන්තුවේ ද මෙම වංචාව පිළිබඳ අමාත්‍යවරයාගෙන් මන්ත්‍රීවරුන් ප්‍රශ්න කළා. නිසි ප්‍රමිතියෙන් තොර පොහොර සඳහා රසායනාගාර පරීක්ෂණ වාර්තා සාවද්‍ය ලෙස සකස් කිරීම ද මෙම චෝදනාවලට ඇතුළත්. විගණකාධිපති වාර්තාවට අනුව අදාළ වංචාව පිළිබඳ විමර්ශන සිදුවූ අතර, අමාත්‍යමහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ඉල්ලීමකට අනුව අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා මහතා මේ පිළිබඳව සොයා බැලීමට විශේෂ කමිටුවක් පත්කරනු ලැබුවා. ලක්පොහොර සමාගමේ මිලියන 201ක රජයේ මුදල් දියකළ වංචාව සහ විගණකාධිපති වාර්තාව අනුව හෙළි වූ රුපියල් බිලියන 1.2කට ආසන්න මෙම වංචාව පිළිබඳ පරීක්ෂණ කඩිනම් කරන ලෙස දිගින් දිගටම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දැනුම් දුන්නා.

 

නොබෝදා ලක්පොහොර සමාගමේ කළ නිරීක්ෂණ චාරිකාවේදී ද අමාත්‍යවරයා වංචාවන් පිළිබඳ විමර්ශන කඩිනම් හා කාර්යක්ෂම කරන ලෙස, අදාළ නිලධාරින්ට අවධාරණය කළා. ඒ අනුවයි අමාත්‍යවරයාගේ උපදෙසින් පත්කළ කමිටුව මෙම විමර්ශන කටයුතු සිදු කරනු ලැබුවේ. අදාල නිලධාරින් 05දෙනාගේ සේවය අත්හිටුවීමට කමිටුව නිර්දේශ කොට තිබෙනවා. ඒ පිළිබඳ කමිටු වාර්තාව අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා මහතාට භාර දීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග සහාපොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්. රණසිංහ මහතාට යොමු කරනු ලැබුවා.අමාත්‍යාංශ මට්ටමින් සිදුවන පරීක්ෂණවලට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ද මෙම වංචාවට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස,අදාළ නිලධාරින්ට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දැනුම් දී තිබෙනවා. විගණකාධිපති වාර්තාවෙන් ද මේ පිළිබඳ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ යුතු බවට නිර්දේශ කර තිබෙනවා. තරාතිරම, දේශපාලන හිතවත්කම්, පෞද්ගලික හිතවත්කම් කිසිවක් නොසලකා වහාම වංචාකරුවන්ට එරෙහි සියලු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දැනුම් දී තිබෙනවා.

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලක්ෂ 69කට වැඩි ජනතාවක් බලයට පත්කළේ දූෂණය, වංචාව පිටු දැක දියුණු රටක්, විනයගරුක රටක් මෙන්ම එක රටක්, එක නීතියක් යන කරුණු කෙරෙහි දැඩි විශ්වාසය තබමින්. එම නිසා වංචාවන්, දූෂණයන් සියල්ලට එරෙහිව දැඩිව තීන්දු තීරණ ගන්නා සේම ඒවා කාර්යක්ෂමව සිදුකළ යුතු බවට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සියලු නිලධාරින්ට දැනුම් දි තිබෙනවා. වැඩ තහනමට සීමා නොවී විමර්ශන කණ්ඩායම්වලට පූර්ණ සහාය ලබාදෙමින්, රාජ්‍ය මුදල් විනාශ කළ සියලු චූදිතයන් නීතිය හමුවට පනවන ලෙස අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කර තිබෙනවා.

ගොවිකම රජකරවූ අපේ අගමැති

1952 ආරම්භ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 13 වන සාමාජිකයා වූ දිවංගත අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිඳුන් මෙරට ජන හදවත් තුළ නොමැකෙනා ප්‍රගතිශීලී දේශපාලන ප්‍රතිරූපයකි. 1970 වර්ෂයේ පාර්ලිමේන්තුවට පිවිසෙන දි.මු. ජයරත්න මැතිඳුන් දේශපාලන දිවිය ගම් සභාවෙන් ආරම්භ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, කැබිනට් අමාතයවරයෙකු, ජනාධිපතිවරු, අගමැතිවරු බිහිකළ රටේ පාලන බලය ඇල්ලූ පක්ෂයක මහලේකම්වරයෙකු ලෙස ඉදිරියටම ගොස් මෙරට 14 වන අග්‍රාමාත්‍යවරයා ලෙස එතුමා දේශපාලනයේ ඉහළම තනතුර දක්වා ගමන් කළේය.

 

මෙරට කෘෂිකර්මයත් දි.මු. ජයරත්න නාමයත් එකට බද්ධ වී තිබේ. දිවංගත මාහාමාන්‍ය ඩී.එස්. සේනානායක ශ්‍රීමත් හෙක්ටර් කොබ්බෑකඩුව වැනි මෙරට කෘෂිකර්මය පුනරුදයක් කරා රැගෙන ගිය කෘෂිකර්ම ඇමතිවරුන්ගේ ගොන්නට මෑතකාලීනව වැඩක්කර නමක් තබන්නට ආචාර්ය දි.මු. ජයරත්නයන් කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කළකී දෑ බොහෝය.

 

ලෝක බැංකුවේ දැඩි විරෝධය හමුවේ වුවද ගොවියාගේ පැත්තේ හිටගනිමින් පොහොර සහනාධාරය මෙරටට හඳුන්වා දෙන්නේ දි.මු. ජයරත්න මැතිතුමාය. එතුමන් කෘෂිකර්ම අමාත්‍යවරයාව සිටි සමයේ රට සහලින් ස්වයංපෝෂිත කළේය. 2007 වර්ෂයේ සහල් මෙට්‍රික් ටොන් 2000 ක් අපනයනය කිරීමට හැකිවූයේ එතුමාගේ ධූරදර්ශී වැඩපිළිවෙල තුලයි. වගා ලංකා වගා සංග්‍රාමය, ගොවි විශ්‍රාම වැටුප බලගැන්වීම, ගොවිසෙවණ මන්දිර ඉදිකිරීම, රට පුරා ගොවිජන සේවා මධ්‍යස්ථාන, කෘෂිකාර්මික සංවර්ධනයට ක්ෂේත්‍ර නිලධාරීන් 11,000 ක් බඳවා ගැනීම ඇතුළු දැනෙන වැඩසහන් රැසකින් කෘෂිකර්ම පුනරුදයක් ඇතිකිරීමට ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා කෘෂිකර්මඅමාත්‍යවරයා ලෙස ප්‍රායෝගික වැඩ කළේය. ගොවිජන මන්දිරය ඉදිකොට අමාත්‍යාංශය හා අනුබද්ධ ආයතන එකම වහලක් යටට ගෙන ගොවියාට පහසුකම් දෙන්නට එතුමා ධූරදර්ශී විය. ගොවියාගේ අභිවෘද්ධිය වෙනුවෙන් ගොවිසෙත ලොතරැයිය හඳුන්වා දී අනාගතයට ඵලදායී වැඩකළ කෘෂිකර්ම අමාත්‍යවරයා ඔහු බව විවාදයක් නැත. එවකට පැවති ත්‍රස්තවාදී තර්ජන හමුවේ වුවද දිවයින පුරා සංචාරය කරමින් දි.මු. ජයරත්න කෘෂිකර්ම අමාත්‍යවරයා මෙරට ගොවියාට පණ දුන්නේය.

 

2000 වර්ෂයේ දී ලෝක ආහාර සංවිධානයේ ආසියා ෆැසිපික් කලාපීය සභාපතිවරයා ලෙස ආචාර්ය දි.මු. ජයරත්නයන් තෝරා ගත්තේ කෘෂිකර්මයට එතුමා දැක්වූ දායකත්වයට ලෝක ප්‍රජාවගේ ද ඇගයීමක් ලෙසිනි. ජාත්‍යන්තරව අප රටට ඒ තුළින් කීර්තිය අත්කරදෙන්නට එතුමා සමත්විය.

 

2010 වසරේ අග්‍රාමාත්‍යවරයා මෙන්ම බුද්ධ ශාසන අගාමික කටයුතු අමාත්‍යවරයා ලෙස 2600 වන සම්බුද්ධත්ව ජයන්තිය උත්කර්ෂවත්ව සංවිධානය කරමින් සම්බුද්ධ ශාසනයට ලොවපුරා නව ප්‍රබෝදයක් ඇති කිරීමට එතුමාට හැකිවිය. ගම්පොළ අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය හා ආගමික මධ්‍යස්ථානයේ නිර්මාතෘවරයා දි.මු. ජයරත්න මැතිතුමාය. 1931 ගම්පොළ දොළුව ප්‍රදේශයේ උපත ලබා දොළුව විද්‍යාලයේ ගුරු වෘත්තියෙන් වෘත්තීය ජීවිතය ආරම්භකොට ගම් සභාවේ සිට රටේ අග්‍රාමාත්‍යවරයා දක්වා ගමන්කොට මෙරට ජන හදවත්වල අමරණීය නොමැකෙන මතකයන් හා අහිංසක ජනතාව වෙනුවෙන් සදාකල් පවතින වැඩ රැසක් ඉටුකළ ආචාර්ය දි.මු. ජයරත්න මැතිඳුන් 2019 නොවැම්බර් 19 වනදා දිවි ගමනට සමු දුන්නේය. එතුමන් අප අතරින් සමුගෙන වසරක් පිරෙන විටත් රටපුරා ජනහදවත් තුළ එතුමා තවමත් නොමැරී ජීවත්වෙන්නේ සිය දේශපාලන දිවිය තුළ ගැමිකම හඳුනාගෙන, ගැමි ගැටළු හඳුනාගෙන, ගොවි ගැටළු හඳුනාගෙන පොතට එහා ගොස් ප්‍රායෝගිකව එතුමා කළ අනුපමේය සේවය නිසාමය.

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය