ශ්‍රී ලංකාවේ ගම්මිරිස් වගා කරන ගොවීන්ට පසුගිය කාලයේ සමහරු යනඑන මං නැති කළා. අපේ රටේ ගම්මිරිස්වලට ලෝකයේ ඉහළ ඉල්ලුමක් තිබුණා. හොඳම ගම්මිරිස් ලෙස අපේ ගම්මිරිස්වලට විශාල ඉල්ලුමක් හා සැළකීමක් තිබුණා. නමුත් කිසියම් පිරිසක් හොර ජාවාරම් කරමින් විදේශ රටවලින් ආනයනය කරන බාල ගම්මිරිස්වලට අපේ රටේ ගම්මිරිස් කවලම් කරමින් ජාවාරම් කළා. එමඟින් සිදු වුණේ අපේ ගොවීන්ට යනඑන මං නැතිවීම. මේ සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයින් සොයා බැලීමට අවස්ථා කිහිපයකදී සොයා බැලීම කළත් වගකිව යුත්තෙක් සොයා ගැනීමට නොහැකි වුණා. ඒ නිසා මම තීරණය කළා ගම්මිරිස් වගාවට යනඑන මං නැති කළ මේ “අදිසි” හස්තය සොයාබැලීම සඳහා විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමට. ඒ අනුව මීට වගකිව යුත්තේ කවුදැයි සොයා බැලීමට අපට පුළුවන් වේවි යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් වගා සංවර්ධන කලාප පිහිටුවීමේ වැඩපිළිවෙල යටතේ ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකාවේ විශාලතම පැණි දොඩම් වගා කලාපයේ වැඩකටයුතු අද (03) දින ආරම්භ විය.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩකටයුතු ආරම්භ වූ අතර එම අවස්ථාවට ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා, පාර්ලිමේන්තු මන්ත්‍රී සුමේධා ජී. ජයසේන මහත්මිය ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ. බිබිල කරාඬුගල විහාරස්ථානයේදී මෙහි ප්‍රධාන උත්සවය පැවැත්වුණු අතර ගොවීන් වෙත පැණි දොඩම් පැළ බෙදා දීම ද සිදු කෙරිණි. මුල් අදියර යටතේ පැණි දොඩම් පැළ 85,000ක් ගොවීන් අතර බෙදා දීමට සැලසුම් කර ඇත.අක්කර 2200ක පැණි දොඩම් වගා කෙරෙන අතර එම ඉඩම්වල වගා කෙරෙන සමස්ත දොඩම් පැළ ප්‍රමාණය ලක්ෂ 4කි. සමස්ත වගාවෙන් අපේක්ෂිත අස්වැන්න පැණි දොඩම් කිලෝ මිලියන 30කි. මෙම අස්වැන්න මිලදී ගැනීම සඳහා දැනටමත් දේශීය පුද්ගලික ආයතන දෙකක් සහ විදේශීය ආයතනයක් ඉදිරිපත් වී ඇත.
මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍යවරයා කියා සිටියේ බිබිලේ පැණි දොඩම් වගා කිරීම කලාප මට්ටමෙන් වගා කිරීම නැවත ආරම්භ කරනු ලැබුවේ පැණි දොඩම් වගාවට ගොවීන්ගේ අවධානය යොමු කිරීමටත්, දොඩම් ආනයනය සඳහා විදේශ රටවලට ඇදී යන අතිවිශාල මුදල් සම්භාරයක් මේ රටේම ඉතිරි කර ගැනීම සඳහායි.
මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා සඳහන් කළේ, පසුගිය කාලය තුළ අපේ රටේ ගම්මිරිස් ගොවීන්ට තම නිෂ්පාදන අලෙවි කර ගත නොහැකිව වගා කිරීම අත්හැරියා, අපිට අවශ්‍ය ගම්මිරිස් රටේ නිෂ්පාදනය වෙද්දී පිටරටින් මෙරටට ආනයනය කළා. ඒ විතරක් නෙවෙයි දේශීය ගම්මිරිස්වලට විදේශ රටවල ගම්මිරිස් කවලම් කර අපනයනය කිරීමේ ජාවාරමකුත් හෙළි වුණා. නමුත් මේ පිළිබඳව වගකීමක් ගන්න කෙනෙක් හිටියේ නැහැ. ඒ නිසා ගම්මිරිස් ජාවාරම පිටිපස්සේ සිටින්නේ කවුදැයි සොයා බැලීමට විමර්ශන කටයුතු රහස් පොලීසියට පැවරීමට තීරණය කළා. රහස් පොලිස් පරීක්ෂණවලින් පසු හෙළිදරව් වේවි, ගම්මිරිස් ජාවාරම පිටිපස්සේ හිටපු ප්‍රබල දේශපාලන හස්තය කවුරුන්ද කියලා. නැවත ඒ ජාවාරම්වලට අපි ඉඩ තියන්නේ නෑ.අපි දැන් කියන්නේ බය නැතුව වගා කරන්නයි. ඔබේ අස්වනු මිලදි ගන්න රජය මැදිහත් වෙනවා වගේම ගම්මිරිස් පැළත් අපි නොමිලේ ගොවීන්ට දෙනවා. අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.