English (UK)SinhalaSriLankaTamilIndia


ශක්තිමත්ව ගොවිතැන් බත් කරන අපේ රටේ ගොවි ජනතාවගෙන් 80 දෙනෙක් වල් අලි ප්‍රහාරවලින් වාර්ෂිකව මරණයට පත්වෙනවා - කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Image 01 

 

අපේ රටට බත සපයන ගොවි ජනතාව ආරක්ෂා කිරීම තමයි අපේ වගකීම. වනසතුන්ගෙන් වගා බිම් පාළුවෙනවා වගේම මම අපේ නිලධාරින්ගෙන් තොරතුරු ලබා ගත්තා වැඩිපුරම වන අලි ප්‍රහාරවලින් අපේ රටේ මිය යන්නේ කව්ද? කියලා. කියන්න කණගාටුයි. මට ලැබුණු දත්ත අනුව හැම වසරකම අපේ රටේ ගොවීන් 80කට වැඩි පිරිසක් වාර්ෂිකව වන අලි පහරදීමට ලක්ව මරණයට පත්වෙනවා.

 

මේ සියලු දෙනාම මරණයට පත්වෙන්නේ එක්කෝ පැල් රකින්නට හේනට හෝ කුඹුරට යනවිට. නැත්නම් ආපසු එනවිට. එහෙමත් නැත්නම් කුඹුරට රාත්‍රි කාලයේ වතුර හරවන්නට යනවිට. මේ හැම දෙනාම ඉතාමත්ව ශක්තිමත්ව ගොවිතැන්බත් කරන අයයි. මෙම ගොවි ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා ස්ථිර වැඩ පිළිවෙළක අවශ්‍යතාව පැන නැගී තිබෙනවා යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.

 

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ  හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කළ අපි වවලයි අපි කන්නේ කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන වැඩපිළිවෙළ යටතේ Tom and JC අඹ විශේෂයෙන් අඹ පැළ 7500ක් හම්බන්තොට ගොවි ජනතාවට බෙදා දීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි.

 

මෙම අඹ විශේෂය මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයට හඳුන්වා අඹ විශේෂයක් වන අතර එය වියළි කළාපීය දේශගුනයට ඉතා හොඳින් ඔරොත්තු දෙන සහ වසරේ සෑම කාලයකම ඵල හටගන්නා සුවිශේෂි අඹ ප්‍රභේදයකි.

 

සරුපිරි ගෙවත්තක් වැඩ පිළිවෙළ යටතේ ගොවි ජනතාවගේ ගෙවතු ලක්ෂයක් සැකසීම සඳහා පලතුරු පැල කට්ටලයක් බැගින් ලබා දීම සිදු කරන අතර ඒ අනුව මෙම අඹ විශේෂය ද ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

 

මෙහිදී වැඩි දුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා - වර්තමානයේ කෘෂිකර්ම අංශය මුහුණ දී තිබෙන බරපතලම කරුණු දෙකක් තිබෙනවා. එකක් තමයි පසු අස්වනු නාස්තිය. අපේ රටේ පසු අස්වනු නාස්තිය සියයට 30ක්. අස්වනු නෙලා ගැනීමේ දී, ප්‍රවාහනයේ දී සහ අස්වනු ගබඩා කර තැබීමේ දී  සිදු වන හානිය මීට අයත් වෙනවා. එමෙන් ම ගොවීන් වගා  කරන බෝගවලින් තවත් සියයට 35ක් වන සතුන් විනාශ කරනවා. පසුගිය සතියේ චීන කණ්ඩායමක් අපේ රටේ අස්වනු නාස්තිය පිළිබඳව පර්යේෂණයක් සිදු කළා. ඒ වාර්තාව මට භාර දුන්නා. ඔවුන් කියන්නේ අස්වනු නාස්තිය නිසා සිදු වන හානියේ වටිනාකම රු.කෝටි 1800ක් කියලා.

 

වාර්ෂිකව වන අලි ප්‍රහාරවලින් අපේ රටේ මරණයට පත් වන ගොවීන් 80කට අධික පිරිස සම්බන්ධයෙන් වග කියන්නේ කවුද? ඒ අහිංසකයින්ගේ දරු පවුල් රැකබලා ගන්නේ කවුද? මේ ගැටළුව අපට තිබෙනවා. ඒ නිසා වන සතුන්ගෙන් වන වගා හානිය වගේම ගොවි ජීවිතවලට සිදු වන හානියත් වළක්වා ගැනීම සඳහා මම දැනටමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.

 

වනජීවි අමාත්‍යංශය ඇතුළු ආයතන ගණනාවක් එක්ක මම පසුගිය සතියේ සාකච්ඡා කළා. ඒ කිසි කෙනෙක් ළග නිසි පිළිතුරුක් තිබුනේ නෑ. ඔවුන් ඉදිරිපත් කළ සියලු විසදුම් තාවකාලික කෙටිකාලීන ක්‍රම. අපිට අවශ්‍ය තිරසාර විසදුමක්. එය සෙවීම සඳහා අපි උපරිම උත්සහය දරනවා.

 

අද අපි ලබා දෙන මෙම අඹ පැළ විශේෂය ඉහළ අස්වැන්නක් ලැබිය හැකි අඹ ප්‍රභේදයක් අපේ රටේ සෑම ගෙවත්තක්ම වගා කළ යුතු යුගයක් ඉදිරියේ එනවා.මේ වන විට කාලගුණික වෙනස් වීම් නිසා අපේ ගොවිතැනට විශාල වශයෙන් බලපෑම් එල්ලවී තිබෙන බැවින් කාලානුරූපව වගා කිරීමට ගොවීන් උනන්දු කළ යුතු වනවා යැයිද අමාත්‍යවරයා සඳහන් කළේ ය.


Last Updated on බ්‍රහස්පතින්දා, 13 සැප්තැම්බර් 2018 09:47

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය