English (UK)SinhalaSriLankaTamilIndia


සතුන්ගෙන් වන වගා හානිය වැළැක්වීමට කහත්තේවෙලට ලබා දුන් “ සුහුරු බෝග ආරක්ෂණ ව්‍යාපෘතිය ” සාර්ථක වේ.

 

 

අප රටේ ගොවිජනතාව විසින් වගා කරන බෝගවලින් 30% ත් 40% ත් අතර ප්‍රමාණයක් සතුන්ගෙන් වන හානි නිසා විනාශයට පත් වේ.විශේෂයෙන්ම අලියා, රිලවු, වඳුරෝ, වල් ඌරා, ඉත්තෑවා සහ මොණරා මෙන්ම දඩු ලේන්නු ද බහුලව වගා හානි සිදු කරන සතුන් වෙති.

 

මෙම සතුන්ගෙන් වන වගා හානි වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ගොවීහු කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් නිරතුරුව ඉල්ලීම් ඉදිරිපත් කරති. එහෙත් සතුන් මරා දැමීමට පියවර නොගන්නා හෙයින් වගා හානිවලට සිදුවන සත්ත්ව හානි වළක්වාලීමට විකල්ප ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබී ය. 

 

ඒ අනුව වෛද්‍යවරයෙක් වන සරත් විමලසූරිය මහතා සහ විදුලි ඉංජිනේරුවරයෙක් වන අචල උත්සුක යන මහත්වරු විසින් කුඩා සතුන්ගෙන් වන වගා හානි වැලැක්වීම සඳහා සුහුරු බෝග ආරක්ෂණ පද්ධතිය - Smart Crop Protection System නැමැති විද්යුත් පද්ධතියක් හඳුන්වාදෙනු ලැබීය. 

මෙම පද්ධතිය පසුගියදා ශ්‍රී ලංකාවේ ප්‍රථම කෘෂි ආදර්ශ ගම්මානය වන හපුතලේ කහත්තේවෙල ගම්මානයේ වගා ආරක්ෂණය සඳහා හඳුන්වා දෙනු ලැබීය. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් එම විදුලි පද්ධතිය විවෘත කළ අතර, එවැනි විදුලි පද්ධති 25ක් ගොවීන් වෙත රජයේ වියදමින් නොමිලේ බෙදා දෙනු ලැබී ය. එක් විදුලි පද්ධතියක වටිනාකම රු.විසි දෙදහසකි.

මින් පෙර සතුන්ගෙන් තම වගාවන් ආරක්ෂා කර ගැනීම සඳහා එම ගමේ ගොවීහු නිදිවරමින්, රතිඤ්ඤා පත්තු කිරීම මෙන්ම පාට පාට රෙදි කැබලි එල්ලීම, දැල් ගැසීම, ශබ්ද කිරීම ආදී විවිධ උපක්‍රම භාවිතා කළත් ඒවා සාර්ථක නොවී ය. 

 

නමුත් මෙම සුහුරු වගා ආරක්ෂණ පද්ධතිය මඟින් විදුලි වැටට සපයන විදුලිය මඟින් සතුන්ගේ ජීවිත වලට හානියක් සිදු නොවන අතර සතුන් බිය ගන්වා පලවා හැරීම සිදු කෙරේ.

මෙම ව්‍යාපෘතිය මේ වන විට ඉතාමත් සාර්ථක වී ඇති බව එම ගොවීහු පවසති.මෙවැනි ආරක්ෂණ පද්ධති වෙනත් ප්‍රදේශවල ගොවීන්ට හඳුන්වා දීමටත්, විශේෂයෙන් අලි වැනි විශාල සතුන්ගෙන් වන වගා හානි වළක්වාලීමට සුදුසු පද්ධතියක් නිර්මාණය කර දෙන ලෙසත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෛද්‍ය විමලසූරිය මහතාගෙන් ඉල්ලීමක් කළේ ය.

 

ඡායාරූප - කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ වෛද්‍ය සරත් විමලසූරිය යන මහත්වරු කහත්තේවෙලට සුහුරු බෝග ආරක්ෂණ පද්ධතිය හඳුන්වා දුන් අවස්ථාව.

 


Last Updated on අඟහරුවාදා, 07 AUGUST 2018 09:46

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය