English (UK)SinhalaSriLankaTamilIndia


කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මාන වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    ශ්‍රී ලංකාවේ ප්‍රථම කෘෂි ව්‍යවසායකත ගම්මානය වශයෙන් හපුතලේ කහත්තේවෙල ගම්මානය සංවර්ධනය කිරීමේ කටයුතු පසුගිය 2018.07.21 දා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ආරම්භ කරනු ලැබී ය.

 

    රු.මි.80ක වියදමින් ආරම්භ කළ මෙම කෘෂි ආදර්ශ ගම්මානය කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි ව්‍යවසායකත්ව සංවර්ධන ව්‍යාපෘතිය විසින් සිදු කරන ලද ක්ෂේත්‍ර සමීක්ෂණයකින් අනතුරුව සංවර්ධනය කිරීම සඳහා තෝරා ගනු ලැබී ය. කහත්තේවෙල ගම්මානයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නියුක්ත පවුල් 208 ගොවීන් පිරිසක් විසින් පිහිටුවා ගෙන ඇති කහත්තේවෙල ජනතා ගොවි සමාගම විසින් මෙම ගම්මානයේ කෘෂිකාර්මික කටයුතු වඩාත් විධිමත්ව සිදු කරනු ලබයි. එම කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ගොවීන්ට අවශ්‍ය අත්ට්‍රැක්ටර්, පැළ වර්ග, මී මැසි පාලන පෙට්ටි, පොලිටනල් මෙන්ම එම ගමේ කෘෂි මාර්ග සංවර්ධනය, ඇළවේලී සංවර්ධනය සහ බෝග වර්ග වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය විදුලි වැට ඉදි කිරීම ආදී පහසුකම් රැසක් ලබාදෙන ලදී.

  

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කහත්තේවෙල ගම්මානයේ ගොවීන් වෙත අත්ට්‍රැක්ටර් ඇතුළු ගොවි උපකරණ බෙදාදුන් අයුරු.

 

    මේ හැර මෙම ගම්මානයේ කෘෂිකාර්මික කටයුතු GPS තාක්ෂණය යොදා ගනිමින් සිදු කිරීමටත් ගොවි ගැටළුවලට කඩිනම් විසඳුම් ලබාදීමේ වැඩපිළිවෙලකුත් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

     මෙහිදී අදහස් පල කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකාවේ පළමුවන කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මානය වශයෙන් කහත්තේවෙල ගම්මානය තෝරා ගැනීම සම්බන්ධයෙන් නිලධාරීන් තමන්ගෙන් විමසූ අවස්ථාවේ කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් දුන් බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

     වැඩිදුරටත් අදහස් පල කළ අමාත්‍යවරයා බොහෝ දේශපාලඥයින් මෙවැනි සංවර්ධන වැඩ ආරම්භ කරන්නේ තමන් උපන් ගමේ, එහෙම නැත්නම් තමන්ගේ දිස්ත්‍රික්කයේ. නමුත් මම සෑම විටම එම කටයුතු ආරම්භ කරන්නේ සුදුසු ප්‍රදේශය තෝරාගෙන. එමගින් තමයි අපි කරන ව්‍යෘපෘතිවල නිවැරදි ප්‍රතිඵල ලබාගත හැකිවෙන්නේ. මෙම ආදර්ශ ගම්මාන වැඩපිළිවෙල මෙම ගම්මානයෙන් අවසන් කරන්නේ නෑ. මෙම වැඩපිළිවෙල අපි ඉදිරියටම ගෙන යනවා. දෙවැනි ආදර්ශ ගම්මානය ඉදිකිරීමේ කටයුතු අපි මේ වසරේම ආරම්භ කරනවා.

      ශ්‍රී ලංකාවේ දශක දෙක, තුනකට පෙර කෘෂිකාර්මික අංශයෙන් ජාතික ආදායමට ලැබුණු දායකත්වය 29% යි. නමුත් පසුගිය වර්ෂය වන විට එය 7.7% දක්වා පහළ වැටී තිබෙනවා. එම තත්ත්වය නැවත ඉහළ නැංවිය යුතුයි. ඒ නිසා තමයි අපි කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන වැඩපිළිවෙලක් හඳුන්වා දුන්නේ.

     බොහෝ විට ඇමතිවරයෙක් අමාත්‍යාංශයට අලුතින් ආපුවාම නිලධාරීන් තමයි වැඩපිළිවෙල හදලා දෙන්නේ. නමුත් මම කිව්වා අපේ කඩිනම් කෘෂිකාර්මික වැඩසටහන සකස් කරන්නේ මමයි කියලා. ඒ අනුව ඉදිරිකාලය තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති 20ක් අපි හඳුන්වා දුන්නා. ඒවා තමයි දැන් හැම සතියකම අපි ප්‍රමුඛත්වය දී ක්‍රියාත්මක කරන්නේ.

    මෙවැනි කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන පිහිටුවීමෙන් අපි බලාපොරොත්තු වන්නේ අපනයනය සඳහා කෘෂිකාර්මික බෝග නිෂ්පාදනය කිරීමත්, තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට ආකර්ෂණය කර ගැනීමත්, එමෙන්ම විද්‍යාත්මකව වගා කරන ගොවීන් පිරිසක් රට තුළ ස්ථාපිත කිරීම. ඒ සඳහායි මෙවැනි වැඩ සටහන් අපි ආරම්භ කර තිබෙන්නේ. අපිට අවශ්‍ය වෙන්නේ මොඩ් ගොවියෙක්. ඔහු ගොවියෙකුට වඩා ව්‍යවසායකත්වය උදෙසා කටයුතු කිරීමයි අපේ බලාපොරොත්තුව. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉදිරි ව්‍යාපෘති සියල්ලම අප ඉලක්ක කර තිබෙන්නේ අපනයන නිෂ්පාදනවලට ප්‍රමුඛත්වය ලබාදීමටයි. දේශීය පරිභෝජනයට වගා කරන ගම අපනයනය සඳහා කටයුතු කළහොත් පමණයි අපිට අපේ ගොවීන් ශක්තිමත් කළ හැකිවන්නේ යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් බී. විජයරත්න, ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එම්. වීරසේකර, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.එම්.ඩබ්. වීරකෝන්, කෘෂි ව්‍යවසායකත්ව සංවර්ධන ව්‍යාපෘතියේ අතිරේක ලේකම් නිමල්කා ඩයස් යන මහත්ම මහත්මීහු  ඇතුළු පිරිසක් සහභාගී වුහ.



Last Updated on සදුදා, 23 ජුලි 2018 10:16

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය