01

   
English (UK)SinhalaSriLankaTamilIndia


ශ්‍රී ලංකාවේ ප්‍රථම කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මානය ලෙස සංවර්ධනය වන කහත්තේවෙල

කහත්තේවෙල ගම්මානය යනු බදුල්ල දිස්ත්‍රික්කයේ, හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි දුෂ්කර ගමක්.

පවුල් 503 න් සමන්විත කහත්තේවෙල ගැමියන්ගේ මූලික ආදායම් මාර්ගය වුයේ ගොවිතැනයි. රැකියා වියුක්තිය, බෝග නිෂ්පාදනය හා නිෂ්පාදන ඵලදායිතාව අඩු වීම, කාලගුණික හේතූන් නිසා වගාවන් විනාශ වීම, වන සතුන්ගෙන් වන හානි, රෝග පළිබෝධ හානි ඉහළ යාම, අස්වනු අලෙවි කිරීමේ ගැටළු ආදී විශාල ප්‍රශ්න රැසකට මෙම ගොවීහු මුහුණ දුන්හ.

කහත්තේවෙල පිහිටි කඳු හෙල් බෑවුම්වල බෝංචි, ගෝවා, රාබු, වම්බටු, තක්කාලි වැනි බෝග වර්ග වගා කරන මෙම ගොවීන් කිසිදු සෙවිල්ලක් බැලිල්ලක් නැතිව තම වගාවන්ට කෘමිනාශක හා රසායනික පොහොර යෙදී ය. කහත්තේවෙල උස් කඳු ගැටයක පිහිටි ශ්‍රී සංඝරාජ පිරිවෙනෙහි පරිවේනාධිපති ලෙස කටයුතු කරන පූජ්‍ය කහත්තේවෙල රතනසිරි හිමියන් පවසන්නේ පහළ නිම්නයේ ගොවිපලවලට ගොවීන් යොදන රසායනික පොහොර සහ කෘමිනාශක නිසා ඇතැම් අවස්ථාවල තමන්ට හුස්මවත් ගන්න බැරි තරමට එම කෘමිනාශකවල සැර තමන්ට දැනුණ බවයි.

“ මේ මිනිස්සු ගොවියෝ වුණාට ඔවුන් මනුෂ්‍ය ඝාතකයෝ කොටසක් කියලා මට හිතුණා. දිගට හරහට ගහන සැර කෘමිනාශක නිසා පරිසරයේ සත්තුන්, ඒ වගේම ඒ එළවළු කන පාරිභෝගිකයනුත් මැරෙනවා. ඒ හින්දා මට ඕන වුණා මේ ගොවියෝ ආරක්ෂා කරගෙන ගොවිතැන් කටයුතු කරන්න. ඒ සඳහා තමයි කහත්තේවෙල ජනතා ගොවි සමාගම අපි නිර්මාණය කළේ.” උන්වහන්සේ පැවසූහ.

කහත්තේවෙල ගම්මානයේ වෙසෙන ජනතාව සිංහල මුස්ලිම් හා ද්‍රවිඩ යන ජනවර්ග 03ම නියෝජනය කරනවා. නමුත් වැදගත්ම දේ ඔවුන් සියලු දෙනා පන්සල කේන්ද්‍ර කර ගනිමින් වගා කටයුතු හා ගමේ සංවර්ධන කටයුතු සඳහා දායකත්වය ලබා දීමයි. කහත්තේවෙල රතනසිරි හාමුදුරුවන්ගේ නායකත්වය සමඟ සම්බන්ධව කටයුතු කරන කාර්යක්ෂම තරුණ පිරිසක් සිටිනවා. ඔවුන් තමයි කහත්තේවෙල ගම්මානය සංවර්ධනය කිරීමට කැපවී කටයුතු කරන්නේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි ගම්මාන ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන මෙහෙයවන එහි අතිරේක ලේකම් නිමල්කා ඩයස් මහත්මිය ඇතුළු කණ්ඩායම ශ්‍රී ලංකාවේ පළමු කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මානය සැකසීම සඳහා කහත්තේවෙල ගම්මානය තෝරා ගන්නා ලද්දේ එම සංකල්පයට උචිත සියලු වටපිටාව කහත්තේවෙල තිබූ නිසායි.

ඒ අනුව ආහාර නිෂ්පාදනය වැඩි කිරීම සඳහා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ වැඩපිළිවෙලට සමගාමීව පළමු කෘෂි ආදර්ශ ගම්මානය වශයෙන් කහත්තේවෙල ගම්මානය පිහිටුවීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අනුමැතිය ලබා දුන්නේ ය.

සාමාන්‍යයෙන් සංවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරද්දි දේශපාලඥයින් විසින් ප්‍රමුඛත්වය ලබා දෙන්නේ, තමන් උපන් ගමෙන් හෝ තමන්ගේ මැතිවරණ කොට්ඨාසයෙන් එම කටයුතු ආරම්භ කිරීමටයි. නමුත් මහින්ද අමරවීර මහතා උපදෙස් දී තිබුණේ ඒ සඳහා සුදුසුම ස්ථානයේ එම කටයුතු ආරම්භ කරන ලෙසයි. ඒ අනුව කහත්තේවෙල ව්‍යාපෘතියට ඒ මහතා අවසර දෙනු ලැබී ය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ පළමු කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මානය වශයෙන් කහත්තේවෙල ගම සංවර්ධනය කිරීම පසුගිය (21) වෙනි දින ආරම්භ විය. රජය විසින් මේ සඳහා රු. ලක්ෂ 785ක මුදලක් ලබා දුන් අතර එම ගමේ ගොවීන්ගේ ද මූල්‍ය හා ශ්‍රම දායකත්වය ලබා ගැනීම සිදු කරයි. දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පළාත් කෘෂිකර්ම කාර්යාලය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ආදී සියලුම ආයතන මෙම ව්‍යාපෘතියට සක්‍රීයව දායකත්වය ලබාදෙයි. රසායනික පොහොර වෙනුවට කාබනික ගොවිතැනට මුල්තැන දෙමින් ගොවීන්ගේ හා පුද්ගලික අංශයේ මෙන්ම රාජ්‍ය අංශයේ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම මඟින් මෙම ගම සංවර්ධනය කිරීම මෙහි අරමුණයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම කෘෂි ආදර්ශ ගම්මානය වශයෙන් කහත්තේවෙල ගොවි ජනතාවගේ ආදායම් මට්ටම ඉහළ නැංවීම, ජීවන තත්ත්වය උසස් කිරීම, කෘෂි නිෂ්පාදන ඵලදායීතාවය ඉහළ නැංවීම, නිෂ්පාදන අලෙවි වෙළඳ ජාලයක් ස්ථාපිත කිරීම, ජල සම්පාදන පහසුකම් වැඩි දියුණු කිරීම, ගොවීන්ගේ තාක්ෂණික දැනුම ඉහළ නැංවීම වැනි අරමුණු රැසක් සහිතව මෙම ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබී ය. එමෙන්ම මෙම ප්‍රදේශයේ පහසුවෙන් කළහැකි මී මැසි පාලනය, මල් වගාව, පැළ වගාව, මල් හා එළවළු පළතුරු පැළ අලෙවිය වැනි කටයුතු මෙහිදී ආරම්භකළා.

කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මානය වශයෙන් කහත්තේවෙල ගම්මානය සංවර්ධනය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා පවසා සිටියේ මෙම කෘෂි ආදර්ශ ගම්මාන වැඩපිළිවෙල අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවයි.

මෙම ගම්මාන අඩුම තරමේ දිස්ත්‍රික්කයකට එකක් බැගින් තෝරාගෙන සංවර්ධනය කෙරේ. ඒ අනුව ඒ ඒ ගම්මානවල ගොවීන්ට තිබෙන ගැටළු හඳුනා ගනිමින් ඒවාට විසඳුම් ලබාදෙන අයුරින් මෙම ගම්මාන ස්ථාපිත කෙරේ. එම නිසා දෙවන කෘෂි ආදර්ශ ගම්මානයේ වැඩකටයුතු මෙම වසර තුළදීම ආරම්භ කරන්නැයි අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබී ය.

කෘෂි ආදර්ශ ගම්මාන පිහිටුවීමේ දී සෑමවිටම ආගමික මධ්‍යස්ථාන මුල් කරගනිමින් පූජකතුමන්ලාගේ සහයෝගය ලබාගනිමින් ක්‍රියාත්මක කෙරේ. දැනට අප රටේ සෑම ආගමකටම අයත් පූජා භූමි සතුව වගා නොකළ ඉඩම් රැසක් පවතී. කෘෂි ආදර්ශ ගම්මාන වැඩපිළිවෙල යටතේ සෑම ආගමකටම අයත් පූජ්‍ය ස්ථානවල භූමියේ කෘෂි ගොවිපලක් පවත්වාගෙන යාමටත්, එමඟින් එම පූජාභූමියට පැමිණෙන බැතිමතුන් තුළ ගොවිතැන කෙරෙහි උනන්දුවක් ඇති කිරීම ද අපේක්ෂාව වේ. කහත්තේවෙල ශ්‍රී සංඝරාජ පිරිවෙන භූමිය ද කෘෂි ගොවිපලක් වශයෙන් සංවර්ධනය කෙරේ.

මෙම ආදර්ශ කෘෂි ගම්මාන තුළ නව තාක්ෂණය යොදා ගනිමින් කෘෂිකාර්මික කටයුතු සිදුකිරීමත්, විශේෂයෙන් අපනයනය ඉලක්ක කරගනිමින් ඉහල ඉල්ලුමක් ඇති බෝග වර්ග හරිතාගාර තුළ වගාකිරීමට අවශ්‍ය තාක්ෂණික සහය සහ මූල්‍ය සහයෝගීතාවය ලබා දෙයි.

හපුතලේ කහත්තේවෙලින් ආරම්භ වූ මෙම කෘෂි ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය ඉදිරියට පවත්වාගෙන යාමට පියවර ගැනීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ අපේක්ෂාවයි.

 


Last Updated on Thursday, 26 July 2018 04:58

Last Update

13-07-2020

Get Social

Ministry of  Mahaweli, Agriculture,
Irrigation and  Rural Development
 

80/5,

"Govijana Mandiraya",

Rajamalwatta Lane,

Battaramulla, Sri Lanka,

Tel: +94-11-2869553

Fax: +94-11-2868910

E-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Copyright © 2019 The Ministry of  Mahaweli, Agriculture, Irrigation and  Rural Development 

All Rights Reserved.

 Solution by: